සුනීතා 1988 දී කොලඹ වෛද්‍ය විද්‍යාලයයේ දෙවන වසරේ සිසුවියක්. ඇය උගත්තේ මීගමුවේ පිහිටි උසස් බාලිකා විද්‍යාලයකයි. ඇයගේ පියා රජයේ ආයතනයක විධායක නිලයක් දරුවා. පියාගේ බාල සහෝදරයා පොලිස් පරීක්ෂක වරයෙක්. ඔහු සේවය කලේ බදුල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක.
ජ.වි.පෙ 1988 දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව සංවිධානය කරන ලද උද්ඝෝෂණයකට රජයේ වෛද්‍ය සිසුන්ට සහභාගි වීම අනිවාර්ය කර තිබුණා. සුනීතාගේ පියා සහ මාමා ජ.වි.පෙ සම්භන්ධ කිසිම ක්‍රියාකාරකමට සහභාගි නොවන ලෙස සුනීතාට තදින්ම අවවාද කර තිබුනා. හේතුව උනේ ඒ දිනවල තිබූ ජවිපෙ ක්‍රියාකාරීන් අතුරුදහන් කිරීම සහ මාමා පොලිසියේ තනතුරක් දැරීමයි. 1988 සැප්තැම්බර් දිනක පැවති උද්ඝෝශණයට සහභාගි වෙන්න කියලා ඇයගේ මිතුරියන් කිහිප දෙනෙක් ඇයට දුරකථනයෙන් ඇවටිලි කලා. වෛද්‍ය විද්‍යාලයය මාස ගනණක් වසා තිබුන නිසා සුනීතා ඒ දවස් වල සිටියේ ගෙදරමයි. කාලෙකින් හමු නොවූ මිතුරු මිතුරියන් හමුවීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතූ ඇය වත්තල ඉන්න එයාගේ යාලුවෙකුගේ ගෙදර යන බව අම්මට බොරුවක් කියලා කොලඹ ගියා. කලින් කතා කරගත් විදියට සේරම් පාරේදී එයාගේ යාලුවන්ට එකතුවෙලා පුංචි බොරැල්ලේ තිබුනු පෙලපාලියට සම්බන්ධ උනා. සටන් පාඨ වලට වඩා ඔවුන් කලේ ආගිය තොරතුරු ගැන කතා කරමින් ගමන් කිරීමයි. හවස පහ විතර වන විට බොරැල්ල හන්දියට ලඟා වෙමින් තිබුන පෙලපාලියට පොලිසියෙන් කඳුලු ගෑස් ගැහුවා. පිරිමි ලමයින් බොහොමයක් ඒ මේ අත දිවූවා. දුවා ගැනීමට නොහැකිවූ පෙලපාළියේ ගිය ලමයින් සමහරක් හමුදා ඇඳුන්වලට සමාන ඇඳුම් ඇඳ සිටි අය අත් අඩංගුවට ගත්තා. සුනීතා සහ තවත් ගැහැනු ලමයින් වගයක් වෑන් එකක දමාගත්තා. හැමෝටම වෑන් එකේ බිම මුනින් අතට දිගා වෙලා ඉන්න අණ කලා. සුනීතා වටපිට බැලුවත් ඇයගේ මිතුරියන් කවුරුත් වෑන් එකේ හිටියේ නැහැ. ඔව්න් දුවලා බේරෙන්න ඇති යයි ඇය සිතුවා.